Saturday, September 29, 2012
෴හිරු සැගවී ගොස් තුන් මාසයයි෴..
තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක්ගෙ ලෝකයේ රජ්ජුරුවොයි..ඒ දරුවගෙ ලෝකයම එලිය කරන හිරු කුමාරයයි ..හම්ම් මගේ ලෝකෙත් එහෙම රජ කෙනෙක් හිටියා ඒ රජ්ජුරුවො ගැන කතා කරන්න මේ මුලූ බ්ලොග් අවකාශයම ගත්තත් ඉඩ මදි වෙයි මට.ඒත් පුලුවන් විදියට මගෙ පාරමිතාවට අදවත් ඒ ගැන නොලිව්වොත් ඒක ලොකු අඩුවක් වෙයි..ඉතින් මේ සටහන ලෝකයක් වටින මේ ජීවිතයේ මා ලබපු අමිලම තිලිණය උන මගෙ රත්තරන් තාත්තා වෙනුවෙනුයි.
මගේ තාත්ති වගෙ තාත්තා කෙනෙක් ලබන්න මමත් මගෙ නංගිත් පෙර ආත්මයක ලොකු පිනක් කරලා තිබ්බා. එහෙමත් නැත්තන් මං අදහන ධර්මය අනූව දෙවියන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තිබ්බා.ඒත් ඒ රත්තරං තාත්තගෙ ආදරය,රැකවරණය ,උණුසුම විදින්න අපිට වරම් තිබ්බෙ අවුරුදු 24 ක් විතරයි.ඒ 24 නුත් අවුරුදු දහයක්ම අපිට අහිමි උනා ඒ අපි වෙනුවෙන් ලස්සන අනාගතයක් හදන්න මගෙ තාත්තට අපෙන් ඈත් වෙලා ඉතාලියට එන්න උන නිසා.
හරියටම මීට මාස තුනකට කලින් අද වගේ දවසක මගෙ රත්තරං තාත්තා අපිව දාලා සදහටම ගියා.ගෑනු ලමයෙක් විදියට මට තිබ්බ ලොකුම හයිය අත්වැල බිදිලා ගියා.මගේ ජීවිතෙ ගොඩක්ම සුන්දර මතකයන් අඩුයි එහෙම අඩුවෙන් උනත් තියෙන මතකයන් අතර ලස්සනම දවස් රැදිලා තිබ්බෙ මගෙ තාත්තා එක්කයි නංගටයි මටයි අවුරුදු 12ක් වෙනකම්ම ඒ තාත්තා එක්ක ගතකරපු කාලය ලස්සන හීනයක් වගේ. ඒ කාලෙ නංගටවත් මටවත් මතක තිබ්බෙ නෑ අපේ අම්මි ඉන්නවද කියලවත් ඒ තරම්ම තාත්තිත් එක්ක පුංචි අපේ ලෝකයෙ පිරිලා තිබ්බෙ .ඉස්සර අපෙ තාත්තිට තිබ්බා හොන්ඩා වර්ගයෙ දිග බයික් එකක් ඕකෙ ඉස්සරහා ලොකු බඩගෙඩියක් වගේ තියෙන ටැංකිය උඩ තියාගෙන නංගවයි මාවයි හැමතැනම එක්කන් යද්දි අපේ ලෝකයේ වීරයා උනේ අපේ තාත්තියා . එහෙම ගමන් යන හැම වෙලාවකම අපේ තාත්ති මහා හඩින් සිංදු කිව්වා වැඩියෙන්ම කිව්වෙ අපිම ඒ කාලෙ වරද්ද වරද්ද කියන ලමා ගීතයක්.තාත්ති ඒක කිව්වෙත් අපි කියනවා වගෙ වරද්ද වරද්දමයි එතකොට නංගයි මායි තාත්තිට කෑගහනවා අපිව අවුස්සන්න ඕනා හින්දම මට තාම මතකයි ඒ වෙලාවට තවත් හයියෙන් කෑ ගහන එකයි තාත්ති කලේ.
හැම සතියකට සැරයක්වත් අපි තාත්තිත් එක්ක බීච් ගිය හැටි ඒ ගිහින් ආවම මල් වලට වතුර දාන හෝස් එකෙන් මුහුදු වැලි යන්න අපි දෙන්නව හෝදපු හැටි.අපිට අවුරුදු 12 ත් වෙලා කකුල් බිම ගෑවෙද්දිත් පිට උඩතියාගෙන අස්සයා ගෝන් ටික් ටික් කරපු හැටි කොහොම විස්තර කරන්නද.අපි ලොකු උනා කියලත් අපේ තාත්තිට හැමදාමත් අපිව අර ඉස්සර කාලෙ උන්න බටුඇට කෙල්ලො දෙන්නමයි. මේ අකුරු ටික ටයිප් කරන මේ වෙලාවෙත් මගෙ ඇස් දෙකට හෝ ගාලා කදුලු පිරෙනවා. අනේ ආයෙ කවදාවත් ඔයා ගාව හුරතල් වෙන්න ඔයා නෑ නෙ තාත්තියො පුංචි වරදකටවත් අතක්වත් උස්සපු නැති ඔය අත්දෙකෙන් නංගිවවත් මාව වත් තව කෙනෙක්ට බාර දෙන්නවත් ඔයා උන්නනම්..
තව ටික දවසයි තියෙන්නෙ මගෙ නංගා ඔයාගෙ පොඩි දුව අලුත් කැදැල්ලක් හදන්න පිටත් වෙනවා.එදාට ඔයාගෙ අඩුව අපි කොහොම දරාගන්නද කියලා මං තාමත් හිතනවා.අලුත් ලෝකයකට පියනගන මගෙ නංගිගෙත් කවදාහරි දවසක මගෙත් ජීවිත ඔයාගෙ ජීවිතයෙන් කියා දුන්න පාඩම් නිසාම එලිය වැටේවි.මගෙ ජීවිතේ මං දැකපු ලස්සනම යුවල උනේ ඔයයි අම්මියි ජීවිතේ හැම දෙයක්ම හරි ලස්සනට බෙදාගෙන ඔය දෙන්නා ජීවත් වෙලා අපිට දුන්න ආදර්ශය අපි ලබපු ලොකුම පාඩමයි.ඒ එක්කම ජීවිතකාලෙම රුපියල් සත වලට වඩා මිනිස්සු හරි හම්බ කරපු ඔයා අපිට දුන්න ලොකුම දෑවද්ද මනුස්ස කම ඉහවහා ගිය හොද මනුස්සයෙක්ගෙ දුවක් එහෙමත් නැත්තම් හැමෝම අදුන්වන විදියට "බැසිල් අයියගෙ" දුව යන නම්බු නාමයයි.
කාලය නම් ගෙවිලා යනවා අපේ ජීවිතත් ගෙවිලා යනවා ඒත් ආයෙ කවදාවත් අපි ලග ඔයා නෑ.ඒත් ඔයා අපි ලග තියලා ගිය ගුණ සුවද හැමදාම තියෙනවා.. ආයෙත් මේ ඇස් දෙකට දකින්න නම් ඔයා නෑ තමයි ඒත් හිත ඇතුලෙන් හැමදාමත් මගෙ තාත්ති මා තුල ඉන්නවා මං ඒක දන්නවා.
ඒත් රජෙක් නැති තැන රාජ්ජයයක් කොහෙද ඒ ගැන නම් මං තාමත් හිතනවා .
ඔව්..
ඔබ මට රජ කෙනෙකි ලොවේ
ඔබ හිටි තැන කිසිවෙකුත් නැතේ
හිරු කුමරුන් වී ඔබ අපේ ලොවේ
මල් පිබිදෙව්වා තවමත් මතක තියේ..
අපේ ලෝකයට පමණක් නොව මුළු ලොවටම එලිය දුන්න ජීවය සැදුව මගේ තාත්තේ.... මෙසේ කියමි මම,
෴පය තබනා හැම තැන මල් පූදපු..යන යන තැන එලිය කරපු ඔබ, තබා ගිය ගුණ සුවදින් මම පෝෂනය වී ලෝකයට ආයෙත් පූදින්නෙමි.මගේ ලෝකයේ වීරයා ඔබ පණක් නිසාම කෙදිනක හෝ ඔබ වන් කෙනෙකු වෙන්නට වෙහෙසෙන්නමි. . එවන් දිනක ලෝකය දෙස හිස ඔසවා බලා ඔබවන් උතුම් පියෙකුගේ දියණියක ලෙස සාඩම්බරයෙන් හිනැහෙන්නෙමි.. ෴
Subscribe to:
Post Comments (Atom)
මෙක මට ගොඩක් ස්වෙදියි යාලු.. හ්ම්ම්ම්ම් ජිවිතය මෙයයි..
ReplyDeleteමෙක මම ටික කලෙකට කලින් ලියපු පද වැලක්....
දයා කරුනා
පිරී ඉතිරුණු
සිසිලැල් පවන නුබයි .................
මගේ අහසට නිතින් පැයු
හිරු හා සදුද නුබයි ................
බෝ සෙවනේ සේ
දෙව් මැදුරේ සේ
යහගුණ පිරුණු විලයි ................
නුබේ නාමය
මගේ හද ගැබ
සුපිපුණු සුවද මලයි ..............
ලිහී ගිලිහුණු
මුදු කුසුම නුබ
යායම සුවද කෙරු ..........
දිවිය පුරාවට
මගේ හද තුල
මන්දස්මිතය දැරූ...............
සසර මතුදා
පෙරුම් පුරන්නම්
වන්නට නුබේ පුත් රු ............
නුබයි තාත්තේ
මගේ හද
තුල මිහිබට වන්
දෙවිදු ..............
හම්ම් , ඔව් යාලුවා ජීවිතය මේ වගෙ තමයි ඒත් එහෙම අහිමිවීමක් තාම මගෙ ජීවිතයට බර වැඩියි.
ReplyDeleteඔයාගෙ පද වැලත් හරිම ලස්සනයි ,
ජීවිතයේ අපි ආදරය කරන අපිට ආදරය කරන අය අපි ළග හැමදාටම තියාගන්න බෑ නිෂියෝ...
ReplyDeleteඒත් අනිත් සේරටම වඩා අම්මා තාත්තා ජීවිතේට ගොඩාක් සමීපයි අපිට එ අයව ගොඩක් වටිනවා,,,, ඔයා කියන විදියට ඔයාගෙ තාත්තියා ගොඩාක් හොද කෙනෙක්,,,, ඔයාලත් එක්ක එකටම ඉදලා ඔයාලා අතරම ඔයාලගේ ලෝකෙම ජීවත් උන කෙනෙක් එහෙම තාත්තා කෙනෙක් නැති උනාම ඒක දාරා ගන්න ගොඩක් අමාරුයි,,,
ඒත් ඒ තාත්තියා වෙනුවෙන් ඒ තාත්තිගේ ගුණාංග ඉස්සරහට ගෙනියන්න ඔයයි නංගයි ඉන්නවා... එක නැති වෙන්න දෙන්න එපා... ඔයාලා හොදට හිනාවෙලා සතුටින් ඉන්න දාට අනිත් සේරටම වඩා ඔයාගේ තාත්තියා සතුටු වෙනවා අනිවාර්යෙන්ම,,,,
ඒ නිසා ඒ දේවල් ඉස්සරහට ගෙනියන්න ඔයාලට පුලුවන් කියලා මං විශ්වාස කරනවා,,,,
අදහන ආගමකට දහමකට අනුව ඔයාලගේ තාත්ති හොද තැනක ඉදන් ඔයාලා දිහා බලන් ඉන්නවා ඇති... එ නිසා තාත්තිට දුක හිතෙන දේවල් කරන්න එපා හැම වෙලාවෙම ඉස්සර වගෙම හිනාවෙලා සතුටින් ඉන්න,,,, එක තාත්තිට කරන ගෞරවයක්,,,,
අනේ ඔව් ශා..තාත්ති සතුටු වෙන විදියට ජීවත් වෙන්න මං උත්සහකරනවා ඒක විතරයිනෙ දැන් කරන්න තියෙන්නෙත් නේද..
ReplyDeleteඔයාගෙ විශ්වාසය ඔයාගෙ වචන හිතට ලොකු ශක්තියක් ගෙනාව,
ස්තූතියි ගොඩක්..
මං අදහන ධර්මය අනූව දෙවියන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තිබ්බා. > දෙවියන්වහන්සේ ඔබට දෙන්නේ හොදම දෙයයි. ඒක උන්වහන්සේගේ ගුණාංගයක්, ඔයාගේ තාත්තා දෙවියන්වහන්සේ ආපහු ගත්තේ, එයාගෙන් කෙරෙන්න ඕනේ කාර්ය ඉස්ටඋන නිසා වෙන්න ඇති. අපේ ඇසින් බලන කොට ඒක වැරදියි නැත්නම් මදි, ටික කාලයයි තමා, නමුත් උන්වහන්සේ අපිට වඩා දුර දකින කෙනෙක් නේ නගෝ.
ReplyDeleteඅනේ ආයෙ කවදාවත් ඔයා ගාව හුරතල් වෙන්න ඔයා නෑ නෙ තාත්තියො > වේදනාව තියනවා අපි ලඟින් හිටපු කෙනෙක් අපෙන් ඈත්වෙලා ගියහම. මොනවා කොරන්නද ඒක මෙ පව්කාර ලෝකයේ හැටියක්. නමුත් අපිට ඒක දරාගන්න වෙනවා නගෝ, අකමැත්තෙන් හරි.
තව ටික දවසයි තියෙන්නෙ මගෙ නංගා ඔයාගෙ පොඩි දුව අලුත් කැදැල්ලක් හදන්න පිටත් වෙනවා. > මෙතනදී ඔයාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්, අක්කි කෙනෙක් හැටියට, ඔයාගේ ආදරණිය නංගියා අලුත් ජිවිතයක් පටන් ගන්න ආරම්භයක් දානවා. එකට මගේ මුළු හදවතිම සුභපතනවා නගෝ.
මගෙ ජීවිතේ මං දැකපු ලස්සනම යුවල උනේ ඔයයි අම්මියි. > ජිවිතයේ ලස්සනම යුවල ඔයාගේ අම්ම්යි තාත්තියි වගේම, ඔයත් ඔයාගේ ස්වාමියාත්, අනාගතයේ ඔය දෙන්නා ලස්සනම යුවල වෙන්න ඕනේ. එකට අවශ්‍යය සියලු කරුණාව සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් ඔබට ලැබේවා කියා මා හදවතින්ම ප්‍රර්ථනා කරනවා නගෝ ඔය දෙන්නාටම.
ඔයාගේ තාත්තා දෙවියන්වහන්සේ ආපහු ගත්තේ, එයාගෙන් කෙරෙන්න ඕනේ කාර්ය ඉස්ටඋන නිසා වෙන්න ඇති.
Deleteඔව් ඒක එහෙම්ම තමා දෙවියන්වහන්සේ වරදක් කරන්නෙ නෑ.තාත්තිගෙ මේ ලෝකෙ වැඩ කොටස ඉවර ඇති.ඒ වගේම මං තදින්ම විශ්වාසකරනවා මගේ තාත්ති අද උන්වහන්සේ ලග උන්වහන්සේගෙ රාජ්ජයයේ කොටස් කාරයෙක් වෙලා මොක් සුව විදිනවා ඇති කියලා.
තාත්ලා ගැන වර්ණනා අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්.මං ඔය කවි ලියන අයෙගෙනුත ඉල්ලන්නේ පියා ගැනත් ලියන්න කියලා.
ReplyDeleteකොහොම උනත් තාත්තා තමා අපේ ජීවිත වල සුපිරිම යෝධයා,වීරයා.කතා දෙකක් නෑ.
හැමදාමත් වගෙ පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි තමා ධම්මික,
Deleteඔයා කියනවා වගේ ආයෙ දෙකක් නෑ තාත්තා තමා අපේ ජීවිතෙ සුපිරිම වීරයා,
අද කාලේ ඔය වගේ දෙමාපියන් සිහිපත් කරන ය අඩුයි. මම ප්‍රර්ථනා කරනවා එතුමාගේ ලබන්නාවූ ආත්ම බවය වාසනාවන්ත එකක් වෙන්න කියල
ReplyDeleteබොහොම ස්තූතියි කෝරලේ මහත්තයා
Delete:( :( :( :( :( ඒ වගේ පියෙක්ගේ දුවක් වෙන්න ඔයා කොයි තරම් පින්කාරද.......
ReplyDeleteඔව් කියන්න බැරි තරම් පින්කාරයි ගොඩක්..
Deleteවෙන්වීමේ දුක ඇත්තේ ජීවත්වන අයටය ...
ReplyDeleteතාත්තා කෙනෙක් නැති අඩුව වැඩිපුරම දැනෙන්නේ දුවලට මම දන්නා විදියට .....
හම්ම්..දුවෙකුට ඉපදුනු දා ඉදන් ඉන්න එකම ආරක්ෂකයා තාත්තා ඉතින් පුතෙක්ට වඩා දුවෙක්ට ඒ ආරක්ෂාව නැති උනොත් දරාගන්න අමාරුයි..
Deleteඅනේ මම මොනා කියන්නද......මේ මගේ ඇස් වලත් කඳුලු වැක්කෙරෙනවා.ඔය වගේම රත්තරං තාත්තෙක්නෙ මටත් නැති උනේ.
ReplyDeleteහම්ම්..ඒ අඩුව කොහොම දරාගන්නද නේද ම්ම්
Deleteඅනේ මන්ද :/
ReplyDeleteහොද මිනිස්සු ඉක්මනටම මේ ලෝකෙන් යනවා ලු නේ
තාත්තාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන එක තමා ඔයාට එයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ...
හම්ම්.. ඇත්ත හොද අය ඉක්මනින් යනවා තමා
Deletematath mona kiyannada kiyala hitha ganna ba mata therenawa nishiyo oyata godak duka athi mamath mage sudu thaththita godak adarei eth oya hoda guna yahapath duwak thaththi kohe hari idan oya gana adambara wenawa athi
ReplyDeleteස්තූතියි උමා.. ඒත් දරුවෙක් විදියට තාත්තිට සලකන්න කාලෙ එන්නත් කලින් තාත්ති ගියානෙ.ජීවිතකාලෙම තාත්තියා අපිට කරා මිසක් අපිට තාත්ති වෙනුවෙන් යමක් කරන්න උනේ නෑ..ඒකයි දුක
Deleteatthatama oyata oyage thatthi labila thiyenne pera pinakata nishi..hoda minissu ikmanta me loken yanava..oya nangai ammi ekka eya asa vidiyata lassanata inna.kohe hari idan eya oyala diha balala sathutuvei.
ReplyDeleteඔව් නිල්නෙතු..ලොකු පිනක් මං කරලා තිබ්බා.
Deleteඇත්ත තාත්ති කොහෙ හරි ඉදන් අපි දිහා බලාගෙන ඉන්නවා ඒක මට දැනෙනවා
nishi akke ,mata denena widiyata thaththa thamai duwekge langinma inne.ammath langinma innawa thamai .eth api godak lan wenne thaththata.eka mama hithanne swbawaya wenna ethi.puthala godak lan wenne ammalatane.oyata ada denena dema matath denenawa.thaththa kenek nethi aduwa maka ganna baaa.eth thaththa hema welema oya langa innawa kiyala hithagena weda karanna.eththatama eya inna thenaka indala oyala diha balagena eththe.
ReplyDeleteඔව් නංගො තාත්තා නැති අඩුව කොහොම දරාගන්නද, අර කිව්වා වගෙ දුවලා වෙච්ච අපි තාත්තලාට ලංවෙනවා වැඩිනෙ.
Deleteහිතට තදින්ම වැඳුන ලිපියක් යාළු,. මගේ ජිවිතේත් ඉන්න වීරයා මගේ තාත්තා.. එයා නැති වුනොත් කියන දේ මට හිතන්න වත් අමාරුයි..
ReplyDelete