Pages

Friday, March 29, 2013

අහස් ගව්ව සිඹින තරම්.. 9වෙනි දිගහැරුම

කලින් කොටස් බලන්න මෙහෙන් යන්න


               දෙයියනෙ මං මේ දකින්නෙ මොනාද? මගෙ උත්පල මං ආදරය කරපු උත්පල උන්නෙ වෙන යුවතියකගෙ අතින් අල්ලගෙන.

"නිමා.."
 අල්ලගෙන උන්න කැමරාව බිමට වැටෙද්දි මට කෑ ගැහුනෙ ඉබේටමයි.

"දිලා .. මොකද මේ "

දුවගෙන ඇවිත් වැටෙන්න ගිය මාව අල්ලගත්තෙ නිමා..

"නිමා .. අර"

ඈතින් ඉන්න  උත්පලව නිමාට පෙන්වමින් මං උන්නෙ ගැහෙමින්.

"ශික්.. මේකා.. හිටපන් මං ඕකට ..."

දත් මිටිකමින් නිමා උත්පල ඉන්න දිහාවට යන්න හැදුවා.

"අනේ .. එපා නිමා අපි යං.."

අනවසරෙන් එලියට පනින ඉකියක් තද කරගෙන මං නිමාවත් අල්ලගෙන හැරුනෙ දෙපා පණ නැතුව දැන් වැටෙයි කියලා බයටයි.




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

       
                       හිරු අවදිවෙලා හරියට මගෙ තනියට වගෙ.මීදුමෙ පැටලුනු කදු අතරින් ගිනිබෝලයක් වගෙ දිලිහෙනවා .ඒ දිහා ජනේලයේ ග්‍රිල් පොලු අතරින් මං බලං උන්නෙ බොදඋන දෑසින්.
   මේ සීතල බිමේ සුන්දරතවය කෙතරම්ද අද ඒ කිසිවක්  නොපෙනෙනෙ ගානයි.හිත තැලිලා පොඩි වෙලා හරියට හිතක පපුවක් නැති පාපතරයෙක් පෙති කඩා පොඩිකර රෝස මලක් වගගෙ .ඉතින්  එහෙව් හිතට මේ දිව්‍යලෝකයම උනත් නැත්තම් අපාය උනත්  වෙනසක් කොහෙ දැනෙන්නද.

 අනේ උත්පල ඔයා ඇයි එහෙම කරේ ... ඔය ඇස් වල තිබ්බෙ මං ගැන ආදරේ නෙමෙයිද ?මං රැවටුනාද ..ඔයා ජපන් ගියෙ නැද්ද ?

දහසකුත් ප්‍රශ්න ප්‍රෙහෙලිකා මගෙ හිතෙ ගොඩ ගැහිලා ඒත් ඒ හැම එකටම උත්තර  හොයනවට වඩා මං උන්නෙ කෑ ගහලා අඩන්න එහෙමත් නත්තම් මුළු ජීවිතයම දාලා යන්න බල කරන හිත සංසුන් කරගන්න අසාර්ථක උත්සහයක.

"දිලා.."
තරුත් නිමාත් මං දිහා බලන් උන්නෙ අනුකම්පාවෙන් ඒ බැලුම් දරාගන්නත් බැරි තරම්.

"අනේ .."
 සිහින් ඉකියක් මුවින් පනිද්දි ම නිමාගෙ උරහිසට ඔලුව ගහගත්තා.

"උඹට අඩන්න එපා කියන්න බෑ දිලා..ඒත් උඹ ලෙඩ වෙයි."

නිමා මගෙ ඔලුව පිරිමදිද්දි මට දැනුනෙ  මිත්‍රත්වයට එහා ගිය සහෝදරියකගෙ උනුසුමක්.

"උඹ ට දරාගන්න බෑ තමයි ඒත් මෙහෙම හරි උඹ ඔලුවෙ මවන් උන්න මායා ලෝකෙන් එලියට ආපු එක හොදයි ."

තරූ කිව්වෙ කාරුණික උනත් බැරෑරුම් හඩකින්.

 "දන්නවද උත්පල කියන්නෙ අපි හිතනවට වඩා ලොකු වංචාකාරයෙක්. උත්පල ජපන් ගිහින් තියෙන්නෙ මැරීඩ් කපල් එකක් විදියට මෙහෙන් ගෑනු ලමයෙක්ව බැදලා.ගෑනු ලමයෙක් කිව්වට කලින් බැදලා ඩිවෝස් වෙච්ච කෙනෙක්ලු . වීසා හදාගන්න එහෙම කරාට දෙන්නා එහෙ ඉදලා තියෙන්නෙත් එකට. පස්සෙ වීසා ඉවර වෙලා එහෙ පොලිසියෙන් ආයෙ ලංකාවට එවලා. ගෙදර අයටවත් කිසිදෙයක් කියලා නෙමෙයි මිනිහා හැම දේම කරලා තියෙන්නෙ.දැන් අර බැදපු කෙල්ලත් එක්ක වෙනම ඉන්නවලු.උත්පලගෙ තාත්තා මිනිහව ගෙදරට අරං නෑ.."

 හිතා ගන්නවත් බැරි විදියට හිතේ තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙද්දි මං තරූ දිහා බලාගෙන උන්නෙ අවසිහියෙන් වගෙ.

"මේ.. මේවා උ..උඹ දන්නෙ කොහොමද?"
"ඊයෙ උඹ උත්පලව දැකලා උන්නෙ හරියට සිහියක් නැතුව.පස්සෙ මං තරූට කෝල් කරලා විස්තරේ කිව්වා.අසංක අයියයි තරුයි සුරාජ් අයියලයි රංජනී නැන්දලට හොරෙන් උඹව වෑන් එකට අරන් ආවෙ. උඹට මතක නැතුව ඇති උඹව උස්සන ආවෙ සුරාජ් අයියා."

"සුරාජ් අයියා.. "

නිමා කියද්දි සිදුවෙච්ච  දේවල් මතක් කරගන්න උත්සහ කරන ගමන් මං ඒ නම ප්‍රතිරාවය කරේ පුදුමෙන්.

 "හම්ම්ම්.. ඔව් සුරාජ් අයියා ."
මෙච්චර වෙලා කට පියාගෙන උන්න තරූ ඊලගට කතා කරා.
  
"උඹට කොහොමත් ටිකක් අසනීපයි කියලා  දන්න නිසා ඒක එච්චරම ගානක් උනේ නෑ.ඒත් එකපාරම මොකද උනේ කියලා  කට්ටියටම ප්‍රශ්නයක් .පස්සෙ අසංක අයියටයි අපේ අයියටයි මං කිව්වා උන දේ,
 අපේ අයියා උත්පලගෙ අයියව අදුනනවනෙ මතකද මං උඹට කිව්වා."

"හම්ම්..මං ඇඩුම්බරව මිමිණුවා."

"උත්පල ගෑනියෙක්ව හොරෙන්ම බැදලා ජපන් ගියා කියලා අයියත් දැනන් ඉදලා ඒත් උඹගෙයි උත්පලගෙයි සම්බන්දයක් අයියා දන්නෙ නෑ නෙ නැත්තන් මං කලින් මේවා දැනගන්නෙ."
"එතකොට උත්පල ආ..වෙ. "

"දැන් මාසයකට  වැඩිලු ඇවිත්,අයියා එවෙලෙම උත්පලගෙ අයියට කෝල් කරා එතකොට තමා අනිත් විස්තර දැනගත්තෙ."

අදහගන්නත් බැරි කතාවලින් මගෙ දෙසවන් පිරිලා ගිහින්.මං රැවටිලා අන්ත පහත් විදියට උත්පල මාව රැවට්ටුවා.කවදාම හරි දවසක මං ලගටම එයි කියලා බලං උන්න මගේ පලමු ආදරේ දෙපා මුල බිදුනු වීදුරු කූඩුවක් වගේ.කවදාවත් එකතු නොවෙන විදියට කැඩිලා බිදිලා විසිරිලා ගිහින්.

බොහොම වීරියෙන් හිරකරගෙන උන්නු හීන් ඉකිය වැඩි වෙද්දි මං ඇද උඩට වැටී කොට්ටයට මූණ ඔබාගත්තා..

"හම්ම්.. අඩපන් ඇති වෙන්න අඩපන් හැබැයි ඊට පස්සෙ හිත හදාගනින්."

"හම්ම්..ඔව් උඹ ලෙඩ වෙන්න එපා ."

යෙහෙලියන් දෙන්නා මා අස්වසමින් මුමුණනවා විතරක් මට ඒ එක්කම ඇහුණා.......


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


"හූ.."

කන කීං ගාලා දෝංකාර දෙද්දි මං ගැස්සිලා හැරුනෙ ගොඩක් ඈතට ගිය මගෙ අතීතයෙන් මිදෙන ගමන් ..

"තරූ.. උඹ  මෙහෙ කෝ අසංකයියා"

"අසංකයියලාගෙ තාත්තට පොඩ්ඩක් අමාරුයි..බෙහෙත් ගන්න  අයියා නොගිහින් බෑනෙ. මං තනියම නිසා මාව මෙහෙන් බස්සලා ගියා බෙහෙත් අරන් දීලා එයි."

ඒක නෙමෙයි පහල ඉදන් උඹට කොච්චර කතාකරාද කොහෙද බං උන්නෙ.

"අපායෙ ."

"උඹ තාමත් පරණ දේවල් නිසා විදෝනවා. මේ අහපන් සුරාජ් අයියා තාමත් උඹ ගැන අහනවා."

තරූ  බදින්න කලින් අපි ඔක්කොම ගිය ඒ නුවරඑලි ට්‍රිප් එකෙන් පස්සෙ සුරාජ් අයියා කෙතරම් මට සමීප වෙන්න උත්සහා කරාද ඒත් ඒ වෙද්දි මම හිටියෙ තවත් පිරිමියෙකු හිතට ලං කරගන්න පුලුවන් මානසිකත්වයක නෙමෙයි සමහර විට අදටත් ඒ බය එහෙම්මම මගෙ හිතේ කොනක හැංගිලා තියෙනවා.

"එහෙම ආදරේ බලෙන් හිතට ගන්න බෑ තරූ."

අතීතය මොහොතකට හරි අමතක කරන්න ලොකු උවමනාවක් මට එවෙලෙ දැනුනා. ලොකු හුස්මක් මුදාහල  මං තරූගෙ බඩ අතගෑවා.

               තරූ බැදලා අවුරුදු දෙකකට පස්සෙ දැන් ඉන්නෙ චුටි පැටියෙක් හම්බෙන්න.හිටියට වඩා සුදු වෙලා පිරිලා තියෙන තරූගෙ මූනේ තිබ්බෙ අහිංසක චූටි අම්ම කෙනෙක්ගෙ චායාවක්.

"දැන් ලොකුයි නේ බඩ."

"ම්ම් ..ඔව් ඇතුලෙ ඉන්නෙත් හොද දගයෙක් පයින් ගහනවා දැන්."

"අනේ..ශෝක් බං"

තරූගෙ බඩ අතගගා මං එහෙම කියද්දි තරූ ගොඩාක් ලස්සනට හිනා උනා කොහොමත් ඒ හිනාව චූටිම චූටි  අම්ම කෙනෙක්ගෙම තමා.ඒත් බඩේ ඉන්න චූටි පැටියා තරූව දවසට දෙකට මහගෑනියෙක් කරලා වගේ තරූගෙ හිනාවෙ අම්මා කෙනෙක් උනාට පුංචි ආඩම්බරකමකුත් තියෙනවා කියලා මට හිතුනා.

"මේ.. ලස්සනද "

 ගෙත්තම් කරමින් උන්න වෝල් හැගර් එක තරූට පෙන්නමින් මං ඇහුවා.

 "ලස්සනයි ..ගිය මාසෙ නයෝමි එකට දැම්ම ඒවා විකිනිලාද."

 ආසාවට වගේ අතින් ගෙත්තම් කරන බිත්ති සැරසිලි තාත්තාගෙ යාලුවෙක්ගෙ කඩේකට දාන්න මං පටන් ගත්තෙ ලගදි.

"ම්ම් පහෙන් දෙකක්ම ගිහින්" 

"උඹේ වැඩ ලස්සනයි."

"ඒක නෙමෙයි මේක ලස්සනද කියන්නකො "

මල් ඉත්තක ඉන්න කහ පාට චූටි කුරුල්ලෙක් ගෙත්තම් කර තිබ්බ බේබි සූට් එකක් මං තරූගෙ අතට දුන්නා.

"අනේ ශෝක් කෙල්ලෙ.."

"උඹෙ පැටියට හැදුවෙ,තව කොට්ටඋර සෙට් එකකුත් තියනවා ඔක්කොම ඉවර කරලා දෙන්නම් .."

 "තෑන්ක්ස් දිලා ගොඩක් ලස්සනට තියෙයි පොඩ්ඩට."

"පොඩ්ඩත් ලස්සනම ලස්සනට ඉදියි අම්මයි තාත්තයිත් ලස්සනයිනෙ."

"ඉවසිල්ලක් නෑ බං මූන දකිනකන්."
පැටියා ගැන මතක් කරද්දි තරූගෙ ඇස් දෙක  දිලිසුනා.

 "අන්න අදත් අම්මා ලොවි වගයක් ඇහිදලා තිබ්බා උඹට දෙන්න කියලා".

"ම්ම් .. කියද්දිත් කටට කෙල උනනවා "

"යං මං අච්චාරු හදලා දෙන්නම්."

      කාලය ගෙවිලා ගිහින් අපේ අදහස් ගතිගුණ මුහුකුරාගිහිල්ලා. ඒත් අපේ හිත් තවමත් ඉස්සර වගේ.පුරුදු යාලුකම පුරුදු දැගලිල්ල තාමත් එහෙමයි. එහෙම දගලපු පිස්සු කරපු  ඉස්සර  දවස් ආයෙත් හිතට එබෙද්දි තරුයි මායි පඩිපෙල බැස්සේ නිමාවත් මතක් කරන ගමන්මයි.

                                                                           මතුසම්බන්ධයි